2017.04.24

මම හිතුවා අලුත් වැඩක් පටන් ගන්න. බොහෝ දෙනෙක් දන්නවා මම මේ තරම් කාළයක්, ඒ කියන්නේ 2012 පටන් මේ දක්වා ලියපු බ්ලොග් එක. ඒක ඇවිද්ද පය …… එකට පුරුදු වුණු කට්ටිය බලාපොරොත්තු වෙන්නේ දිගු බ්ලොග් සටහන්. ඒ කියන්නේ පඳුරු තැලිල්ල එක්කම(මාගල්). මට මේ ළඟකදී ඉඳන් එහෙම එක දිගට ලොකු කාළයක් මේ වෙනුවෙන් කැප කරන්න බැරි බව වැටහුණා. අනිත් කාරණය හිතට එන පුංචි පුංචි දේවල් සටහනක් විදියට ඇවිද්ද පයට එකතු කරන්න බෑ. එහෙම දැම්මොත් ඒකෙ ඉන්න පාඨකයෝ මගෙත් එක්ක උරණ වෙනවා. ඉතිං මම හිතුවා මේ වගේ වැඩක් කරන්න. ඒ හිතට එන පුංචි දේවල් දවස තිස්සේ හෙමින් අකුරු කරලා හවසට පබ්ලිෂ් කරලා දාන්න. දැනට එහෙම හිතුවට ඒ වැඩෙත් පසුවට අමාරු වෙයිද දන්නේ නෑ. මේ වෙනකොට ඇවිද්ද පයට බ්ලොග් පොස්ට් 400 කට දෙකක් හෝ තුනක් වැඩියෙන් ලියලා තියෙනවා. යහපත් ප්‍රතිචාර ගොඩාක් ලැබුණා. ඒක නොලියා ඉන්න නෙවෙයි මේක පටන් ගත්තේ, පුංචි-පුංචි දේවල් ගැන ලියන්න. හොඳයි අද එහෙම පුංචි එකක් ලියන්න හිතුවා.

අද මුලින්ම ලියන්නේ අවුරුදු හතේ – අටේදී මට තිබුණ පුංචි ආසාවක්. මතකනේ අර ඉබිකටුවේ කතාව. අන්න ඒ වගේ එකක්. හැබැයි ඒක, එකතු කිරිල්ලක්, මේක ස්ටයිල් එකක්. මම පුංචි කාලේ ඉඳන් හරි ඉස්ටයිල් කාරයා කියලා මාව බලාගත්තු පුංචි අම්මලා කියන්නේ. මටනම් මතක නෑ. පොඩි කාලේ මගේ කාමරේ හරි පිළිවෙලට තියෙන්න ඕනෙලු. එහම නැති වුණොත් ලෙඩේ දානවලු. ඒ වගේමයි පිළිවෙලට අඳින්නත් ඕනෙලු. සමහරවිට ගිය ආත්මයෙන් ගෙනාපු පුරුද්දක් වෙන්න ඇති. නමුත් කියන්න ආවේ ඒ වගේ දෙයක් නෙවෙයි. මම පුංචි කාලේ මගේ කමිසයට තියෙන්න ඕනේ කියලා හිතපු ස්ටයිල් එක. මම ඒක මුලින්ම දැක්කේ පොලිස් අංකල් කෙනෙකුගෙන් වෙන්න ඕනේ. ඒ නැතත් ඒ කාලේ සිවිල් අයත් ඒ වගේ ඒවා අඳිනවා. මම වැඩි විස්තර කියනවට වඩා හොඳයි මෙන්න මේ රූපේ බලන්න. මම ආස කරපු විදියටම ඒ කාලේ මගේ ටේලර් වැඩ කරපු අම්මා(අපේ අම්මා තාත්තට කලිසම් කමිස පවා මහපු කෙනෙක්) කරලා දුන්නා.

ShoulderStrap

පින්තූරය ගත්තේ https://www.desertcart.ae

දැන් මේකට ආස කරපු තවත් අය ඉන්න පුළුවන්. සමකාලීනයන්ට සම අදහස් පහල වෙනවා කියන්නේ ඉතිං නිකන්ද ? අම්මා මහලා දුන්න කමිසය මම ඉතාම ආසාවෙන් ඇඳන් හිටපු බව මගේ මතකයට ආවේ ඊයේ. ඉතාම පැරණි මතකයක් මෙහෙම හිතට ආවේ කොහොමද කියලා හිතුනද ? පොලිස් මාමලා ඕනෑතරම් දකිනවා, හමුදාවේ අයියලා-මල්ලිලා, සිකුරිටි-පොකුරිටි කට්ටියත් ඕනෑතරම්. නමුත් මගේ හිත ගියේ මගේ දුවට එයාගේ අම්මගෙන් ලැබුණු ගවුමක මේ ජාතියේ උරිස් පටියක් තියෙනවා දැක්කම. ඉතිං දැක්ක ගමන් ලියලා දාන්න ඕනේ නිසා මේ වැඩේ පටන් ගත්තේ. ඇවිද්ද පයට …… එහෙම ගහෙන් ගෙඩි එන්න වගේ පොස්ට් දාන්න බෑනේ. ඒක සම්මානලාභී බ්ලොග් අඩවියක්නේ. ඉතිං ආවට ගියාට බෑ. ඒ එක්කම මට පොඩි කාලේ තිබුණ මම ආස කරපු ෂෝර්ට් එකක් මතකයට ආවා. ඒකත් මේ ළඟදී හමීඩියාස් සෙල් එකකට ගිය වෙලාවේ මතකයට ආවේ. මගෙත් එක්ක එතන හිටපු මගේ මිතුරාට මම දැක්ක ගමන් කිව්වා. “,මචං මට පොඩි කාලේ මෙන්න මේ පාට ෂෝර්ට් එකක් තිබුණා කියලා.

 

LightPurpleShorts

ඒක මේ වගේ කැටයම් දාපු එකක් නෙවෙයි. දන්නවනේ 70-77 කාළයේ තනි රෙද්ද, බොත්තම් දාලා තමයි මහන්නේ. මට මතක හැටියට සිප් වත් තිබුණේ නෑ. ඒක මම පුදුම ආසාවකින් ඇඳපු කොට කලිසමක්. මට එක අතකට හිතෙනවා අර දිග කලිසම අරගෙන ෂෝර්ට් එකක් කර ගත්තනම් කියලා. ඒ වගේ අපිට නොස්ටැල්ජියාව නොහොත් අතීතකාමය හොඳටම තියෙනවා. පොඩි කාලේ තේ බෝත්දී දැනුන රස, කාපු කෑම වර්ග වල රස,  බීම වර්ග වල රස, දැනුණු සුවඳවල්, ලබපු අත්දැකීම්. මේවා යලිත් මතකයට ආවම අතීත මතක මාවත් ඔස්සේ හිත දුවගෙන යනවා. ඒවා තමයි අපි බ්ලොග් සටහන් විදියට අකුරු කරන්නේ. මේ ළඟදී සිංහල අවුරුද්දට කාපු-බීපු දේවල් ගැන අතීත ආවර්ජනයක යෙදෙනකොට මතකයට ආවේ අලියා බීම වල තිබුණ ලංකා ලයිම් කියන එක. ඒක බීපු අය අපේ බ්ලොග් අවකාශේ බොහොම ස්වල්පදෙනෙක් තමයි ඇත්තේ. ඒ අතරේ විචාරක, හැලප අයියා, චෙෆාකි, නලීන්, මාතලන්, අරූ, රවී, හෙන්රි අයියා අනිවාර්යයෙන් ඉන්න ඕනේ. මගේ මතකයට නාවත් තව අය ඇති. මේ මෑතකදීත් ආපහු ලංකා ලයිම් කරලියට ආවා. වැඩේ නැගලා ගියේ නැහැ. දැන් පරපුරට බොන්න ජාති එමටයි නේ. අපිනම් ඉතිං පොරකකා මේවා බිවුවේ. මගුල් ගෙවල්, මළගෙවල් වල මේවා බොන්නම ගිය කාලෙකුත් තිබුණා.

LankaLime
පින්තූරය ගත්තේ : ඔය පහලින් තියෙන තැනින්. නිකමට ගිහිං බලන්න

“මිහිරෙන් මතකයේ රැදී – ඒ රසේ රැඳෙයි මා සිතේ” කියලා මොකක්දෝ ඇඩ් එකක තිබුණා මතකයි. ඒකත් අලියා එකක්මයි.

“ලියාගෙන යනකොට – ගලාගෙන එනවා” මට හිතුණා මේ බ්ලොග් එකේ තේමාවට ඒක හොඳයි කියලා. මොකක්ද කට්ටියගේ අදහස ? මේ බ්ලොග් එකේ මාතෘකා නෑ. තියෙන්නේ දින විතරයි. මේක සුදීකගේ දිනපොත.

මේක බලාගෙන යනකොට ඇවිද්ද පයටම දාන්න තිබුණා. එක්කෝ ඔන්න ඔහේ මේකෙම තිබුණාවේ.